අද අපි ආර්ඩුඊනෝ බෝඩ් එකට පිටතින් සම්බන්ධ කරපු LED දෙකක් පාලනය කරන්නෙ කොහොමද කියල ඉගෙන ගමු.


අපි මේ සදහා
Arduino uno board – 1
LED – 2
Jumper wires භාවිතා කරනව.
**LED සමග කුඩා resistor එකක් භාවිතා කරන්න පුලුවන් නම් LED වල ආරක්ෂාවටත් , lifetime වැඩිකරගැනීමත් වඩාත් සුදුසු වෙනව. නමුත් arduino board එකක digital pin එකකින් නිකුත් කරන ධාරාව 40mA තරම් අඩු අගයක් නිසා තමයි 5V වලට සම්බන්ධ කරත් led දැවීනොයන්නෙ. නමුත් ස්ථිර පරිපථ සකස් කරනවා නම් අනිවාර්යයෙන් ම ලබාදෙන විභව අන්තරයට ගැලපෙන ප්‍රතිරෝධකයක් අනිවාර්යයෙන් ම යොදාගන්න.
අපි මුලින් ම පහත සටහනේ විදියට පරිපථ සකස් කරගමු.
මෙහිදී පරිපථ උපාංග එකලස් කරන්න අපි භාවිතා කරන්නෙ breadboard එකක් (soldier less board). Bread board මින් පෙර භාවිතා කරල නැති අයට අලුත් දෙයක් වගේ දැනෙන්න පුලුවන් . බ්‍රෙඩ් බෝඩ් එකක කොටස් දෙකක් දැකගන්න පුලුවන් . මේ කොටස් දෙකම මැදින් සම්පූර්ණයෙන් ම වෙන් වෙලා තමයි තියෙන්නෙ . මැද සිට වම් පසටත් දකුණු පසටත් කුඩා සිදුරු 5 බැගින් තිබෙන පේලි විශාල ප්‍රමාණයක් පහලට තියෙනව. මේ සිදුරු 5 ම එකිනෙක සම්බන්ධ කරල තමයි බ්‍රෙඩ්බෝඩ් නිර්මාණය කරල තියෙන්නෙ . අපි එක් පේලියක එක් සිදුරකට විදුලිය සැපයුවොත් අනික් සිදුරු 4 ට ම විදුලිය ගමන් කරනව. මේ සිදුරු සහිත පේලි එකිනෙක වෙන් වෙන පරිදි තමයි නිර්මාණය කරල තියෙන්නෙ . බ්‍රෙඩ්බෝඩ් එකේ දෙපස කොන් වල + සහ – ලෙස් නිල් සහ රතු පැහැයෙන් යුත් පේලි 2ක් දැකගන්න පුලුවන් . මේ පේලි දෙකේ සිදුරු පහලට එකිනෙක සම්බන්ධ වන පරිදි නිර්මාණය කරල තියෙනව. අපි + ලකුණ සහිත පේලියෙ ඕනෙම සිදුරකට විදුලිය සැපයූ විට එම පේලියේ ඇති අනෙක් ඕනෙම සිදුරකින් විදුලිය ලබාගන්න පුලුවන් .
නමුත් මේ + හා – පේලි දෙක අපි කලින් කතා කතාකරපු සිදුරු වලට කිසිම අභ්‍යන්තර සම්බන්ධයක් පවත්වන්නේ නැහැ.
ඒ වගේම මේ බ්‍රෙඩ්බෝඩ් නිර්මාණය කරල තියෙන්නෙ එකකට එකක් සම්බන්ධ කරන්න හැකි විදියට. අපි භාවිතා කරන බ්‍රෙඩ්බෝඩ් එකේ ප්‍රමාණය මදි නම් අපිට පහසුවෙන් ම ප්‍රමාණය වැඩිකරගන්නත් පුලුවන.
අපි දැන් බලමු කොහොමද ආර්ඩුඊනෝ බෝඩ් එක භාවිතා කරල අපි මේ සකස් කරගත් පරිපථය පාලනය කරගන්නෙ කියල.
මුලින් ම අපි සුපුරුදු ආර්ඩුඊනෝ IDE එක open කරගමු.
https://github.com/ManulMax/Red-and-Blue-blink
දැන් අපි මේ ආකාරයට කෝඩ් එක ලියාගමු.
int ledR
int ledB
කියන පේලි දෙකෙන් අපි අපේ රතු සහ නිල් led දෙකේ ධන අග්‍ර සම්බන්ධ කරල තියෙන ආර්ඩුඊනෝ බෝඩ් එකේ pin හදුන්වාදෙනව.
මෙහෙදි මම 2 සහ 3 කියන digital pin දෙකට තමා සම්බන්ධ කරල තියෙන්නෙ. මේ බල්බ දෙකේම ඍණ අග්‍ර arduino board එකේ gnd (ground) pin එකට සම්බන්ධ කරල තියෙනව.
මීළඟට අපි void setup() තුල අපේ බල්බ සම්බන්ධ කරල තියෙන PIN වල කාර්යය හදුන්වාදෙමු.
pinMode(ledR,OUTPUT);
pinMode(ledB,OUTPUT);
මගින් අපි බල්බ සම්බන්ධ කරල තියෙන PIN Output pin විදියට හදුන්වා දෙනව. අපි මීළග පාඩම් වලදි සංවේදක (sensors) භාවිතා කරන අවස්තා වල මේ pin INPUT විදියට භාවිතා කිරීමත් ඉගෙනගමු.
මීළගට අපේ code loop එක තුල අපිට නැවත නැවත ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ක්‍රියාවලිය සටහන් කරගමු.
digitalWrite(ledR/B , HIGH);
තුලින් බල්බය දැල්වීමත්
digitalWrite(ledR/B , LOW);
තුලින් බල්බය නිවීමත් සිදුකරගන්න පුලුවන්.
delay කියන keyword එක භාවිතා කරල අපිට බල්බ දැල්වීම නිවීම අතර තිබෙන ප්‍රමාදය වෙනස් කරල විවිධ රටා මවාගන්නත් පුලුවන් . ඒ වගේ digital pin 2 සිට 13 දක්වා (uno board එකක් නම්) භාවිතා කරල විවිධ බල්බ රටා මවාගන්න උත්සාහ කරල බලන්න ඔබට පුලුවන්.
විශාල බල්බ ප්‍රමාණයක් භාවිතා කිරීමට බැරිවීමත් pwm pin ප්‍රමාණය සීමිත වීමත් මෙහිදී දෝෂ විදියට දකින්න පුලුවන් . අපි ඉදිරි පාඩම් වලින් ඒ බාධක මගහරින විදිය ඉගෙනගමු.